(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බොහෝ දුරට ලබන  සතියේදී  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව එම සතියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවා  පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට ළඟම දිනයක්
තෝරා ගැනීමට නියමිතය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 512කගේ විශ්‍රාම වැටුප අහෝසිවී යනු ඇත.

විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නීතිඥයෝ අධිකරණය හමුවේ පසුගියදා කරුණු ඉදිරිපත් කළහ.

විධායකයට අධිකරණයට විශ්‍රාම වැටුප හිමි නම් ව්‍යවස්ථාදායකයට එය අහිමි කිරීම සැබැවින්ම  වෙනස් කොට සැලකීමක් බව නීතිඥයන් එහිදී පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව  ලබන සතියේ පාර්ලිමේන්තුවේදී  කරුණු දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරු  පිරිසක් තීරණය කර ඇත.

අතීතයට බලපාන ලෙස  පනත් කෙටුම්පත  නොගෙනෙන්නැයි එම මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලීමක් කිරීමට නියමිතය.  පනත් කෙටුම්පත තෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථාවේදී  ඒ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමටද  ඔවුහු බලාපොරොත්තු වෙති.