(දයාසීලි ලියනගේ)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩිම ආදායම ලබන භූමි මෙහෙයුම් අංශයේ සේවක හිඟය නිසා කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා පියසර කිරීම බෙහෙවින් ප්‍රමාදවී ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකන් ගුවන් සේවා වෘත්තීය සමිත් සභාපති ජනක විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ කොරෝනා අර්බුදය පැවැති කාලයේ ගුවන් යානා පැමිණීම බෙහෙවින් අඩු වූ නිසා භූමි මෙහෙයුම් අංශ සේවකයන් 400ක් ඉවත් කළ බවයි.

දැන් ගුවන්යානා පැමිණීම වැඩි වී ගුවන් තොටුපොළ කටයුතු යථා තත්ත්වයට පැමිණ ඇති නිසා භූමි මෙහෙයුම් කටයුතු කලට වේලාවට කාර්යක්ෂමව ඉටු කළ නොහැකි වීමෙන් ගුවන් යානා පිටත්වීමේදී ප්‍රමාදයක් සිදුවන බව ඔහු කීය.

මේ තත්ත්වය පිළිබඳව ජාත්‍යාන්තර ගුවන් සමාගම් ගණනාවක්ම පැමිණිලි කර ඇති අතර භූමි මෙහෙයුම්  කටයුතු කාර්යක්ෂමව කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයගෙන් ඉල්ලා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීය.

ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම් කටයුතුවලින් වසරකට ඩොලර් මිලියන 100ක ආදායමක් ලබයි.