(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ සිට පුත්තලම බලා ගමන්ගත් පෞද්ගලික මගී ප්‍රවාහන සේවා බස් රථයක රියැදුරා හලාවත රෝහලට   යොමු කර සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී ඔහු මත්ද්‍රව්‍ය වර්ග තුනක් සහ මත්පෙති පානය කර සිටි බවට තහවුරු වූ පසු අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

අයිස්, හෙරොයින් සහ ගංජා යන මත්ද්‍රව්‍යය ද මත් පෙති වර්ගයක් ද පානය කර ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

අධික වේගයෙන් පෞද්ගලික මගි බස් රථයක් පැමිණෙනවා දැක මාරවිල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරී කණ්ඩායමක් එම බස් රථය නතර කරගෙන ඇත.

බස් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය පානය කර ඇති බව ඔහුගේ හැසිරීම අනුව පෙනී ගොස් ඇති අතර ඔහු හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇත.