(යොහාන් භාසුර)

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තු, ත්‍රීරෝද රථ ගාස්තු සහ පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දමන බව එම කර්මාන්තයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද (10) පැවසූහ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් ගාස්තු වැඩිකළ යුතු යැයි තීරණයේ සමස්ත රටේම බස් හිමියන් සිටින බවයි.

මාසයකට ආසන්න කාලයක් සඳහා ඉන්ධන තොග ඇතැයි ආණ්ඩුව පැවසූ බවත් පරණ ඉන්ධනලට ද මෙම මිල වැඩි කළේ යන සැකය මතු වන බවත් ඒ මහතා කීය.

අලුතින්ම ඇනවුම් කරන්නේ නම් එම අලුත් ඉන්ධනවල මිල වැඩිවිය යුතු වුවද ආණ්ඩුව ජනතාව සහ බස් හිමියන් රැවටා ඇති බව ද ඔහු වැඩි දුරටත් කීය.

ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා පළමු කිලෝමීටර සඳහා රුපියල් 110 ක මිලක් බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය හරහා ඉල්ලා ඇති බවත් ඉන්ධන මිල ඉහළ යෑම දරාගත නොහැකිවීම නිසා අනිවාර්යෙන්ම පළමු කිලෝමීටරයට රුපියල් 10 ක් වැඩි කළ යුතු බවත්ය.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව කළ යුත්තේ ඉන්ධන සඳහා පනවා ඇතැයි බලයට පත්වීමට පෙර පැවසූ බදු ඉවත්කර මහජනතාවට සහන සැනසීමට ඩීසල් මිල අඩු කළ යුතු බවත් දින 37 කට ඉන්ධන තොග තිබුණේ නම් අවම වශයෙන් මෙම මස අවසන් වන තෙක් පරණ මිල තිබිය යුතු බවත් ඔහු කීය.

මෙම අවස්ථාවේ වැඩි කළ රුපියල් 24 සහ මීට පෙර වැඩි කළ රුපියල් 4 ක් සමඟ ඩීසල් මිල රුපියල් 28 කින් වැඩිවී ඇති බවත් ඒ අනුව වෑන් රථ ගාස්තුව සියයට 10 කින් ගාස්තු ඉහළ දැමිය යුතු බවත් ඔහු කීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලිලත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ අකමැත්තෙන් වුවද ගාස්තුව සියයට 5 කින් ඉහළ දැමීමට සිදුවන බවත් එම ගාාස්තු සංශෝධනය අද (10) දිනයේම කළ බවත්ය.

ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියකුගෙන් බස් ගාස්තු පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මෙම අවස්ථාවේ ගාස්තු ඉහළ දැමිය නොහැකි බවයි.