(යොහාන් භාසුර)

ගුරු ගැටලුව පිළිබඳව අභයාරාමයේදී පැවැති සර්ව පාක්‍ෂික සමුළුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වී සිටීමෙන් ‘පාස්කු’ දින ප්‍රහාර සිහියට නැඟුණු බවත් පාස්කු ප්‍රහාරයේ ප්‍රබල වගකිව යුත්තෙක් හැටියට නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එයට සහභාගි වීමෙන් හාස්‍ය ඇති වූ බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

පාස්කු ප්‍රහාර වූ ගමන් කැඳවිය යුතු සමුළුවනේ ගුරු ගැටලුවට කැඳවූ බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ජනාධිපතිතුමා මැදිහත් වී පාස්කු ප්‍රහාරය ගැන සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවන ලෙස පසු පෙළ මන්ත්‍රීවරු හැටියට ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

එදා විධායක ජනාධිපති බලය තිබුණ සිරිසේන මහත්මයා වසර පහක් පාලනය කරලා ගුරු ගැටලුව ගැන කථා කරන්න බැරි වෙලා, සජිත් ප්‍රේමදාස මහත්මයා හිටපු කැබිනට් ඇමතිවරයා, එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා. අකිල විරාජ් කාරියවසම් මහත්මයා අධ්‍යාපන කැබිනට් ඇමතිවරයා. කරූ ජයසූරිය කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ තවත් නියෝජ්‍ය නායකයෙක්, මේ කණ්ඩායම එකතු වෙලා දැන් ගුරු ගැටලුව ගැන කථා කිරීම විහිළුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (08) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එසේ පැවසීය.