
(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ 2026/2027 වසර සඳහා නිලධාරීන් සහ විධායක කමිටුව පත්කර ගැනීම සඳහා හෙට (14) දින පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය සහ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීම වළකාලමින් නුගේගොඩ අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ මහතා අද (13) වාරණ නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ තෝරාගත් සාමාජිකයින් පිරිසකට පමණක් දැනුම් දෙමින් මෙම විශේෂ මහා සභා රැස්වීම කැඳවා ඇතැයි කියමින් විධායක කමිටු සාමාජික අපේක්ෂක මහගම්මුලගේ පුෂ්පකුමාර මහතා ගොනු කළ නඩුවක් සළකා බැලු දිසා විනිසුරුවරයා ලබන 27 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළේය.
විධායක කමිටු සාමාජික අපේක්ෂක මහගම්මුලගේ පුෂ්ප කුමාර මහතා ගොනු කළ මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලසන්ත මනෝජ් නානායක්කාර එහි සභාපති රන්සිරි පෙරේරා ලේකම් සුජීව ජයවර්ධන විධායක කමිටු සභාපති තුෂාර සුමනසේකර නමැත්තන් නම් කර ඇත.
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ 2026/2027 වසර සඳහා සභාපති, උප සභාපතිවරුන්, විධායක කමිටු සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු විධායක කමිටු සාමාජිකයින් තෝරා පත්කර ගැනීම සඳහා හෙට (14) පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා බාල දක්ෂ මූලස්ථානයේදී නිලවරණය පැවැත්වීමට නියමිතව බවත් සඳහන් කරන පෙත්සම්කාර මහගම්මුලගේ පුෂ්ප කුමාර මහතා අදාළ විශේෂ මහා සභා රැස්වීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකයින් අතුරින් තෝරාගත් සාමාජිකයින් පිරිසකට පමණක් ලේකම් සුජීව ජයවර්ධන මහතා විසින් දැනුම් දී ඇතැයිද සඳහන් කර ඇත.
ලේකම්වරයාගේ එම ක්‍රියාකලාපය නීති විරෝධී බවත් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලසන්ත මනෝජ් නානායක්කාර ශ්‍රී ලංකා බාලදක්ෂ සභාපති රන්සිරි පෙරේරා, ලේකම් සුජීව ජයවර්ධන සහ විධායක කමිටු සභාපති තුෂාර සුමනසේකර මහත්වරු ශ්‍රී ලංකා බාල දක්ෂ සභා පනතේ විධිවිධාන සහ බාල දක්ෂ සභාවේ රීතීන් උල්ලංඝණය කරන බව පෙන්වා දුන් පෙත්සම්කාර මහගම්මුලගේ පුෂ්ප කුමාර මහතා වෙනුවෙන් නීතීඥ අස්විද බෙනඩික් මහතා සමඟ පෙනී සිටි නීතීඥ නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා විත්තිකරුවන්ගේ නීතිවිරෝධී ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයටම සහ තම සේවාදායකයාට දැඩි අප්‍රතිකාරී හානි සිදු වන්නේ යැයිද පැවසීය.
බාලදක්ෂ ප්‍රධානීන්ගේ අනීතික ක්‍රියාකලාපය බාලදක්ෂ ව්‍යාපාරයේ නියැලෙන පාසැල් මට්ටමේ දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයින් දක්වාම වැරදි පූර්වාදර්ශයන් සපයන්නේ යැයි කී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත බාලදක්ෂ ව්‍යාපාරයේ නිලවරණය සහ විශේෂ මහ සභා රැස්වීම පැවැත්වීම වාරණය කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරයා ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිට මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිලූකා පතිරගේ මහත්මියගේ උපදෙස් මත නීතිඥ අස්විද බෙනඩික්ට් මහතා සමග නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd