(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

භාෂණයේ නිදහස, පාර්ලිමේන්තු වරප්‍රසාද ලබාදී ඇත්තේ  ජනතාවට සේවය කිරීමට මිස ඒ වරප්‍රසාදවලට මුවාවී  අපහාස කිරීමට, බොරු  පැතිරවීමට හෝ භීතිය මැවීමට නොවේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  මහතා පාර්ලිමේන්තුවේදී අද (23)  පැවසීය.

වරප්‍රසාදවලට මුවාවී තමන්ට හිතෙන හිතෙන බොරු ප්‍රකාශ කිරීම ඒ වරප්‍රසාදවලට කරන නිගාවක් බවද  හෙතෙම සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  රටේ තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ලෝකයේ සමහර රටවල් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යම් යම් සීමා ගෙනැවිත් ඇත්තේ මේ නිසා බවද අලි සබ්‍රි මහතා කීවේය.

ජනතාව මන්ත්‍රීවරුන්ගෙන් යහපත් චර්යාවක් බලාපොරොත්තුවන බවත් ඒ  බලාපොරොත්තු ඉටු කිරීමට  මහජන නියෝජිතයන්  කටයුතු කළ යුතු බවත් ඔහු පැවසුවේය.

අධිකරණය ආණ්ඩුවට ඕන තීන්දු දෙනවා යැයි  විපක්ෂය නගන චෝදනාව අසත්‍ය බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරීම තීරණය කරන්නේ නීතිපතිවරයා බවද සඳහන් කළේය.

රජයේ  පනත් හා  කටයුතු වලට එරෙහිව අධිකරණය පසුගිය දින කිහිපයේදී තීන්දු ගණනාවක්ම ලබාදුන් බව  අලි සබ්‍රි  මහතා කීවේය.

විපක්ෂයට අවශ්‍ය තීන්දු දෙන විට ඔවුනට අධිකරණය ස්වාධීන බව පැවසූ අමාත්‍යවරයා නීතිපතිවරයාගේ කටයුතුවලට ආණ්ඩුව සම්බන්ධ නොවන බවද ප්‍රකාශ කළේය.

සැකකරුවකු  ඇතුළට යෑම හෝ පිටට යෑම තීරණය කරන්නේ අධිකරණය බවත් මේ රටේ පවතින්නේ ස්වාධීන අධිකරණ පද්ධතියක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.