(අංජුල මහික වීරරත්න)

බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට නව රෝහලක් කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාවෙි ප්‍රථම වරට වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නැඟෙන අතර සංචාරක සුව සේවා (මෙඩිකල් ටුවරිසම්) ප්‍රවර්ධනය එහි ඉලක්කය වී තිබේ.

විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිරිකිරීමට සැලසුම් කර ඇති බව මෙම සාකච්ඡාවෙිදී  අනාවරණය විය.

රෝහලේ සැලැසුම් පිළිබඳ සොයා බැලූ රුවන් විජයවර්ධන මහතා ඉඩම් අත්පත් කර ගැනීම් කඩිනම් කර රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත්, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ,  ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම්  කේ.පී දයාරත්න, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි  යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.