(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාදැයි මැතිසබයට වහාම දැනුම් දෙන්නැයි සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් බාර දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළහ.

ඔහුට විරුද්ධව චෝදනා ඇති නම් වහාම නඩු පවරන්නැයිද එසේ නැතිනම්  වහාම නිදහස් කිරීමට කටයුතු කරන්නැයිද  එම ලිපිය මගින්  ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා  ලංකාදීපයට පැවැසීය.

මේ අතර රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ඇති නම් වහාම ඒවා මැතිසබයට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද පාර්ලිමේන්තුවේදී පසුගියදා  ඉල්ලා සිටියහ.