(අංජුල මහික වීරරත්න)

මෙරට පරම්පරා ගණනාවක් පුරා සුරැකෙමින් පැවත එන පාරම්පරික වෛද්‍ය දැනුම, වෛද්‍ය පරම්පරා, ප්‍රතිකාර ක්‍රම හා සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙත දායාද කිරීමේ වැදගත් පියවරක් ලෙස TMK පරිගණක මෘදුකාංගයක් එළි දක්වා තිබේ.

බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතු අනුලේඛීය වටිනාකමකින් යුත් පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම සහ පෞරාණික කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා නිර්මාණය කළ සාහිත්‍ය පර්යේෂණ අංශයේ කෞතුකාගාරය ද එම පර්යේෂණායතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය වෛද්‍යවරුන් පිළිබඳ සංගණනයක් සිදුකර ඔවුන් සතු වෛද්‍ය දැනුම හා පරම්පරාගත තොරතුරු විධිමත් ලෙස පරිගණකගත කිරීමයි. එම දත්ත පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය පරම්පරා සහ එම පරම්පරාවන්ට ආවේණික වූ වෛද්‍ය සම්ප්‍රදායන් පිළිබඳ ජාතික ලේඛනයක් සහ අන්තර්ජාල පද්ධතියක් ස්ථාපිත කිරීම ද මෙහි අරමුණකි.

මෙමගින් මෙතෙක් පුද්ගල මතකය, පරම්පරාගත සම්ප්‍රදාය සහ සීමිත ලිඛිත මූලාශ්‍ර මත රඳා පැවති වටිනා වෛද්‍ය දැනුම නවීන තාක්ෂණය ඔස්සේ විධිමත් දත්ත පද්ධතියකට එක් කිරීමට හැකි වන අතර, එම දැනුම අනාගත පරපුර වෙත සුරක්ෂිතව සම්ප්‍රේෂණය කිරීමට මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා ප්‍රවේශ විය හැකි පදනමක් නිර්මාණය කිරීමට ද හැකියාව ලැබේ.

ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එස්.සී. පීරිස් මහත්මිය ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයේ නිලධාරීහු වෛද්‍යවරු සහ පර්යේෂකයෝ සහභාගී වූහ.