(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටක සංචිත කියන්නේ  ආර්ථිකය  මනින එකම මිනුම් දණ්ඩ නොවේ යැයි කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  පැවැසීය.

මුදල් පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.

"ලංකාවේ සංචිත ප්‍රමානවත් නැතැයි චෝදනාවක් නගා තිබෙනවා.විදේශ සංචිත කියන්නේ ස්වයාරක්ෂිතයක්.එය කලින් කලට පවතින තත්වයන් අනුව වෙනස් වෙනවා.2023 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අප තබාගත යුතු සංචිත ඇස්තමේන්තු කරද්දී දීපු ඉලක්ක වේගයෙන් ඔවුන් විසින් අඩුකර ගත්තා.අපි ආර්ථික ක්‍රියා මාර්ග වලට මේ සංචිත නිදහස් කළා.උදාහරණයක් ලෙස 2023 වසරේ වාහන ආනයනය සඳහා කිසිම ඇස්තමේන්තුවක් තිබුණේ නැහැ.අප ඊට ඉඩ දුන් පසු මේ වන විට ඩොලර් බිලියන 3.5ක් දක්වා එල්.සී විවෘත කර තිබෙනවා. එසේ නොකර හිටියා නම් තව 3.5 කින් අපේ සංචිත වැඩිවෙනවා.ඩොලර් බිලියන 2.6ක් දක්වා ණය ගෙවා තිබෙනවා. මේ මොහොතේ ඩොලර් බිලියන 6.6ක සංචිත පවත්වා ගෙන තිබෙන්නේ විශාල සංචිත ප්‍රමාණයක් වැය කරමින්.සංචිත කියන්නේ ස්වයාරක්ෂිතයක් මිස ආර්ථිකය  මනින එකම මිනුම් දණ්ඩ නොවේ යනුවෙන් ද අමාත්‍යවරයා කීය.