( කටුනායක ටී.කේ.ජී.කපිල )

රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ තුළ හුවමාරු කරමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් ඉකුත් 28 දින අලුයම , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

කිලෝ ග්‍රෑම් 01 යි  ග්‍රෑම් 290 ක් බරැති මෙම රත්තරන් තොගය ගුලි වශයෙන් සකස් කර ගුද මාර්ග තුළ පහසුවෙන් සගවා ගැනීමට හැකිවන පරිදි ඒවා මත ජෙල් විශේෂයක් තවරා තිබූ නිලධාරීහු කියති.

ඉකුත් 28 දින අලුයම 12.45 ට එක්සත් අරාබි එමීර් රාජ්යේයේ ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් පැමිණි  43 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියා මෙම රත්තරන් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි. 

ඉන්පසුව 28 දින අලුයම 03.30 ට ඉන්දියාවේ චෙන්නායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1208 දරන ගුවන් යානයට පිව්සීමේ අදහසින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය තුළ රැදී සිටි 28 හැවිරිදි අනෙක්  ඉන්දීය ජාතික ගුවන් මගියාට මෙම රත්තරන් ගුලි තොගය ලබා දී තිබුණි .

මෙම අවස්ථාවේ එම ස්ථානයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත වී සිටි ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් , සැක කටයුතු ලෙස මෙම පර්යන්තය තුළ හැසිරෙමින් සිටි  මොවුන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන යාමට සූදානම් කර තිබූ රත්තරන් ගුලි තොගය අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම රත්තරන් ගුලි තොගය සහ මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති මෙම රත්තරන් ගුලි මත ජෙලි විශේෂයක් තවරා තිබීම නිසා , මෙම රත්තරන් ගුලි වල වටිනාකම තක්සේරු කිරීමට අපහසු බැවින් , මෙම ජෙලි ඉවත් කර විද්‍යා ත්මක පරීක්ෂණ සිදු කිරීම සදහා රසායනාගාරයක් වෙත මේ වනවිට  රත්තරන් තොගය යොමු කර තිබේ .