(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ  අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් ජනාධිපති නීති අධ්‍යක්ෂජනරාල් හරිගුප්ත  රෝහණදීර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) පෙරවරුවේ බාරදෙනු ලැබීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ  අවසන් වාර්තාව  පාර්ලිමේන්තුවට පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා බාර දෙනු ලැබූවද  නීතිමය හේතු මත  ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.

කොමිසමේදී අනාවරණය කෙරුණු සාක්ෂිද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාගෙන්  එම  වාර්තාව ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී  ඉල්ලීම් කළහ.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු  නිසා  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ඒවා පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා නිලධාරීන්ට  පසුව  උපදෙස් දුන්නේය.

අදාළ ලිපිගොනු සාක්ෂි සටහන් පාර්ලිමේන්තුවට ඊයේ  බාරදීම සිදු කෙරුණේ ඒ අනුවය.