(නිමන්ති රණසිංහ)

පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් හත් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඔවුන්ගේ බැංකු ගිණුම් පහක් අත්හිටුවීමට ද අද  (22) නියෝග කළේය.

ස්පෝට්ස් චේන් නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් මෙම පුද්ගලයන් හත් දෙනා මුදල් වංචා කර ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරනයෙන් කල ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය . 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ම ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉකුත්දා එම ආයතනයේ ප්‍රධානීන් පස්දෙනෙකුට සිතාසි නිකුත් කර තිබුණි . එමෙන්ම මෙම පස්දෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණය නියෝග නිකුත් විය.

මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ එම නඩුවට අදාළව අධිකරණය  එම නියෝග නිකුත් කළේය.