(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව පිළිබඳව කරුණු දැක්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඊයේ (12) කොළඹ දී පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ හමුවට බටහිර රටවල් 8ක නියෝජිතයන් සහභාගී වී නැතැයි වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වූ එම රාජ්‍ය තාන්ත්‍රික හමුවට බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෝර්වේ යන රටවල තානාපතිවරුන් හෝ වෙනත් නියෝජිතයකු හෝ සහභාගී වී නැතැයි ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරුන්, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් එම හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇත.
ඇමෙරිකා තානාපති කාර්යාලයේ සහ කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයෙක් හමුවට සහභාගී වී ඇති අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කිසිවකුත් එම හමුවට සහභාගී වී නොමැත.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාගේ මහතා විදෙස් ගත වී ඇතැයි මේ පිළිබඳව කරන විමසීමක දී දැනගන්නට ලැබිණි.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරෝධය පළ කිරීමක් ලෙස බටහිර රටවල් අටක රාජ්‍ය තාන්ත්‍රිකයන් විදේශ අමාත්‍යවරයා හා රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර පැවැති හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ශ්‍රී ලංකාවේ විදෙස් දූත මණ්ඩල 43ක ප්‍රධානීන් කැඳවා තිබූ බව ද රාජ්‍ය තාන්ත්‍රික සහ රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. එහෙත් ඊට සහභාගී වූයේ අතළොස්සක් පමණක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.
බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෝර්වේ යන රටවල තානාපතිවරුන් මෙම හමුවට සහභාගී නොවූ බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. යුරෝපා සංගමය, ඇමෙරිකාව සහ ජර්මනිය නියෝජිතයන් එම හමුවට යැවූ බව ද රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම අසල්වැසියා වන ඉන්දියාව ද මෙම හමුවට කනිෂ්ට නියෝජිතයකු යැවූ බව ද රොයිටර් වාර්තාවේ තවදුරටත් දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන අපේ රට කනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තනි වෙන බව නම් මෙයින් පැහැදිලි වෙනවා.
අපේ ලොකු මහත්මයා හිතන්න ඇති අර මගුල් ගෙවල් වල ඇදබාන බොරු බේගල් වලින් එතන ඉන්න මෝඩ මිනිස්සු චූන් කරනවා වගේ... යුරෝපේ රටවල තානාපතිවරුටත් මොකක් හෝ බොරුවක් දෙකක් කියලා චූන් කරලා යවන්න පුළුවන් කියලා...
රට කාලා විනාශ කිරීම පිණිස ලංකාවේ දේශපාලකයින් විසින් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵල එකින් එක නිකුත් වෙමින් තිබේ. රනිල් විසින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපේ රට හෑල්ලු කිරීම නිසා බටහිරයන්ගේ සුරතලා වන ඔහුට සහය දැක්වීම පිණිස ජාත්‍යන්තරය ඉදිරියට පැමිණ ඇත. වහාම ජනමත විමසුමකට ගොස් මේ කුමන්ත්‍රණ කාරයින්ව පරාජය කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුය.