(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව තොග වෙළඳුන් කියා සිටිති.

සීනි කිලෝවක් සඳහා පැවති රුපියල් 50ක ආනයන බද්ද සත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 7000 ක ද රුපියල් 15 ක් වශයෙන් පැවැති පරිප්පු ආනයන බද්ද රුපියල දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600 ක බදු ආදායමක් ද මේ වන විට රජයට අහිමි වී ඇතැයි තොග වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.

සීනි බද්ද සත 25 දක්වා අඩු කළ 2020 ඔක්තෝම්බර් 13 වනදා සිට මේ දක්වා සත 25 බද්ධ යටතේ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක් ද ,රුපියලක බද්ධ යටතේ පරිප්පු මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක්ද මෙරටට ආනයනය කර ඇතැයි තොග වෙළෙන්දෝ වැඩි දුරටත් කියා සිටිති.

ඒ අනුව සුදු සීනි සහ පරිප්පු තොග මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලැබිය යුතු බවද වෙළෙන්දෝ පවසති.