( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි) 

වේයන්ගොඩ දුම්රිය ස්ථානය  ආසන්නයේදී අද( 18 ) උදෑසන සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන පැය කිහිපයක් තිස්සේ අඩාල විය.

වේයන්ගොඩ සහ හීන්දෙනිය පට්ටිගොඩ දුම්රිය ස්ථාන අතර වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ආසන්නයේදී  මෙසේ පීලිපනීමට ලක්ව ඇත්තේ උදැසන 6.20 ට කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර  කොළඹ කොටුව බලා ධාවනය  වෙමින් තිබු  සීග්‍රගාමී දුම්රියකි .

මෙම දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානය පසුකරනවත් සමග මෙසේ පීලි පැනීමට ලක්ව ඇත.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ  මීටර් 100 කට වඩා වැඩි දුරක දුම්රිය මාර්ගයට බලවත් ලෙස හානිවී තිබිණි.

පීලි පැනීමට ලක්වූ දුම්රියේ සිටි මගීන් එම දුම්රියෙන් බැස වේයන්ගොඩ දුම්රිය ස්ථානයට දුම්රිය මග ඔස්සේ  පාගමනින් පැමිණිය හ.

එම මගීන්වෙනත් දුම්රියන් වලින්    කොළඹ හා අදාළ ස්ථාන කරා ගමන් කරවීමට  දුම්රිය බලධාරීහු කටයුතු කරනු ලැබූහ . 

පීලි පැනීමට ලක්ව තිබූ දුම්රිය යළිත් පිළිගත කිරීමට පැය කිහිපයක් ගත විය. මෙම කාල සීමාව තුළදී ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය ධාවනය කිරිම ට තරමට බාධා සිදුවිය.

(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)