(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා නීතිඥයෙකුයැයි කියන එහි හිමිකරු හා කාන්තාවන් තිදෙනෙකු  ඇතුලු 5 දෙනෙකු  අද   (31) අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය පොලිසිය කියයි.

කලක පටන් නගර මධ්‍යයේ සිනමාශාලවක පිටුපස පිහිටි නිවසෙහි ලැගුම් හලක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවසක් පවත්වාගෙන යන බවට දිගින් දිගටම උසස් පොලිස් නිළධාරීන්ට ලද තොරතුරු අනුව කුලියාපිටිය අධිකරණයෙන් ලබාගෙන තිබූ සෝදිසි වරෙන්තුවක් රැගෙන ගොස් මෙම  වැටලීම සිදුකළ බවද පොලිසිය කියයි.

එමෙන්ම පොලිස් උපායධූතයෙකු රුපියල් පන්දහසේ නෝට්ටුවක් ලබාදී එම ලැගුම් හලෙන් ගණිකා සේවය ලබාගන්නට ඉල්ලාසිටි අවස්ථාවේදී වැටලීම් නිළධාරීන් යනවිටත් ආයතනයේ කලමණාකාරීත්වය විසින් පොලිස් උපාය ධූතයාට එම සේවාව සඳහා කාන්තාවක් ලබාදී තිබිණ.

කෙසේවෙතත් අදාළ ස්ථානයේ ලැගුම් හලකට අවශ්‍ය ලියාපදිංචිය තහවුරු කෙරෙන කිසිදු ලේඛනයක් ප්‍රදර්ශනය කර නොතිබූ බවද පවසන පොලිසිය එහිදී ත්‍රීකුණාමලය, ආදී ඈත පළාත්වලින් සේවයට පැමිණ තිබූ කාන්තාවන් තිදෙනෙකු ගණිකා සේවයේ යෙදී සිටීමට අදාළව හා ගණිකා සේවයේ යෙදීමේ අදහසින් එහි නැවතී සිටීම හේතුවෙන් එසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාළ ස්ථානයේ කාමර පහසුකම් ලබාගැනීමට පැමිණ තිබූ පිරිසගේ ලේඛනයක් ඇතුලු නඩු භණ්ඩ රැසක්ද පොලිසිය විසින් සැකකරුවන් සමගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.