(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ප්‍රකට ආර්ථික විද්‍යඥ මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඔහු ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් බාරදී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙසේ කැඳවූ බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුගෙන්ද පසුගිය සිකුරාදා ප්‍රශ්න කෙරුණු බව කොමිසම පවසයි.

ගල් අඟුරු සමාගමේ හිටපු නිලධාරීන් දෙදෙනෙකුගෙන් ඊයේ ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණද කිසියම් හේතුවක් මත කොමිසමේ කටයුතු අනිද්දා (17) බ්‍රහස්පතින්දා දක්වා කල් ගියේය

මේ අතර ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාතය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ඔහු ඉදිරි දිනවල කොමිසම හමුවට කැඳවීමට නියමිතය.

කොමිසම ඔහුගෙන් මීට පෙර කටඋත්තරයක් සටහන් කරගෙන ඇත.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම දැනට දෙසීයකට වැඩි පිරිසකගෙන් කට උත්තර සටහන් කරගෙන ඇත. ඒ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති සංඛ්‍යාව පනහකට අධික යැයි කොමිසමේ ලේකම් ඩී .වී බන්දුලසේන මහතා පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.