(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි තිස් දෙකක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ තුළ , ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා ගොස් තිබියදී , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අද අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය , ගමන් මලු දෙකක් තුළ , සුළං නොවදින ලෙස පැකැට් 60 ක් තුළ අසුරා සකස් කර ගෙන තිබුණි .

මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය  තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියෙකු විසින් රැගෙන විත් තිබූ අතර , ගුවන් තොටුපොළ තුළ ඔහු අත් අඩංගුවට පත් විය හැකි නිසා , මෙසේ මෙම ගමන් මලු 02 , ඔහු අතහැර දමා පළා යන්නට ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු සැක පළ කරති .

කෙසේ වෙතත් මේ පිළිබද , කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහය කර ගනමින් , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් , මෙම ගමන් මලු ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගියා අනාවරණය කර ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .