(ඩයනා උදයංගනී)

නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනගිර වෙරළ ආසන්නයෙන් ඉදිරි පැය 48 තුළ ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙහි බලපෑමෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දකුණු, මධ්‍යම හා ඌව පළාත්වලත්, රත්නපුර දිස්ත්‍රික්කයේත්, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවන බව ද ඔහු පැවසීය.

නිරිතදිග වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ඔහු කීවේය.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයන්හි නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.