(කේ බුද්ධික කුමාරසිරි)


ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් දින 90 ක රැදවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මධුශංක ද සිල්වා නොහොත් පොඩි ලැසී නැමැත්තාට අයත් බව කියන හෝමගම මායා මාවත පිහිටි සිව් මහල් නිවසක් පරිහරණය තහනම් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශණ ඒකකය විසින් අද (05) දින කටයුතු කළේය.

අදාල සිව් මහල් නිවස වෙළදපොල වටිනාකම රුපියල් කෝටි 10 කට ආසන්න වෙතැයි ද එම කොට්ඨාශය පවසයි.

පොඩි ලැසී නැමැත්තාගේ වයස අවුරුදු 15 ක දියණියකගේ නමින් එම දේපල මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ බව එම ඒකකයේ උසස් නිළදාරියෙකු පැවසීය.

අදාල දේපළ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී අධිකරණය වෙත කරුණු වාර්තා කරන බවත් එහිදී එම දේපලට අයිතිවාසිකම් කිව හැකි අය වෙතොත් අධිකරණය වෙත අදාල කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් එලෙස හිමිකරුවෙක් ඉදිරිපත් නොවුනහොත් දේපළ රාජසන්තක කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවද එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.