(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නන්දා මාලිනිය ජාතියට මග කියූ මාලිමාවක් බව ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සභා නායකවරයා මෙසේද කීය.

ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය පිළිබඳව අප ජාතියක් විදිහට ශෝකය ප්‍රකාශ කළා. එමෙන්ම ජනාධිපතිතුමාගේ උපදෙස්  පරිදි අප තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇත්තෙන්ම ඇය යුගයක ආත්මය.සංගීතය පැත්තෙන් විශාල දියුණුවක් මඟ පෙන්වීමක් ඇති කරන්න එතුමියට හැකිවුණා. ඒ පැත්තෙන් ඇය සදාතනික සලකුණක් තැබුවා. ඒ වගේම කලාකරුවෙක් කියන්නේ හුදු හඬක් පමණක් නොවේ.මනුෂ්‍යයෙක් විදියටත් ඇය සැලකිය යුතු කලාකාරිනියක්.ජීවිත යාත්‍රාවේ ජනතාවට බලපෑමක් ආදර්ශයක් වෙන විදිහට ඇය කටයුතු කළා. ඇය සහමුලින්ම ජනතාවට සදාචාරාත්මක බලපෑමක් කළ ජීවිතයක්.ඒ වගේම ඇය ගැහැණියක් විදියට පෙන්නපු මහා දැවැන්ත පෞරුෂයක් තිබෙනවා.එතුමිය ජන අරගලයේ රාවය වන්නේ කොහොමද? ඇත්තෙන්ම ඇයගේ ගීත, ඇය අපේ පරම්පරාවට මාලිමාවක්. අප ජනතා විමුක්ති පෙරමුණ හොයාගෙන එන්න කලින් සමාජ විමුක්තියේ ආත්මය දුන්නේ එතුමියයි.එතුමිය විසින් පාදපු උල්පත් ප්‍රමාණය අති විශාලයි.අපට මේ අහිමි වුණේ සංගීතඥයෙක් පමණක් නොවේ. අපේ යුගයේ ආත්මයයි යනුවෙන්ද බිමල් රත්නායක මහතා කීය.