(යොහාන් භාසුර)

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලිනී මහත්මිය වෙනුවෙන් 2004 වසරේදී උඩවැඩියා මල් සංගමය කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී ‘නන්දා මාලනී ඇස්කොසන්ඩා‘ නමින් නම් කළ දෙමුහුන් කළ උඩවැඩියා මල සිහිපත් කරමින් පරිසර අමාත්‍යංශය සමාජ මාධ්‍යයේ සටහනක් අද (21) ප්‍රසිද්ධ කළේය.

ශ්‍රී ලංකා උඩවැඩියා සංගමය ඇයට උපහාරයක් ලෙස නම් කළ ‘ඇස්කොසෙන්ඩා’ උඩවැඩියා මල ඇගේ නාමය සොබාදමේ සංකේතයක් බවට පත්කිරීමට ‘ඇස්කොසෙන්ඩා නන්දා මාලනී’ ලෙස නම් කළේය.

ගී හඬක් නිහඬ විය හැකි නමුත් ඒ හඬින් දල්වන ලද හෘද සාක්ෂිය කිසිදා නිහඬ කළ නොහැකි බවත්, මලක් පරවී බිම වැටුණද එය සොබාදහමට එක් කළ සුවඳ මැකී නොයන බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

අප්‍රමාණ කලා සේවයක් කළ කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ ගීතාවලිය දැයේ පරපුරෙන් පරපුරට සදා නොමියෙන සුවඳක් වනු ඇති.

ඇය අපෙන් සමුගත්තද ඇගේ ගී හඬ දැයේ හදවත් තුළ සදා දෝංකාර දෙනු ඇති අතර, ඇගේ නාමය සොබා තුරුලේ සදා මල්වර වනු ඇතැයි පරිසර අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.