(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශීය හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි සහ තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට ගත් තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව කියන කෝට්ටේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 72 ක කාලයක් රඳවා ගැනීමේ නියෝග ලබා ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

මෙලෙස රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන ඇත්තේ කුරුඳුවත්ත පල්ලිය පාර පදිංචි හාජා මොහිදින් අලි උස්මාන් සහ ඔහුගේ සොයුරා වන නාවල පාර පල්ලිය පටුමගේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන හංජා මොහිදින් සුල්ලා නැමැත්තන්ටය.

වැලිකඩ පොලිසිය සහ යුද හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකාර මන්ත්‍රීවරයාගේ සොහොයුරාගේ නිවසේ තිබී කඩු තුනක් හා මන්නා පිහියක් සොයා ගෙන තිබේ.

සැකකාර නාගරික මන්ත්‍රීවරයාගේ නිවස වටලා සිදුකළ සෝදිසියකදී හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි ,පරිඝණකයක් සොයා ගත් බව පොලිසිය කීය.