(චමින්ද වැවතැන්න)

කෑගල්ල දේවාලේගම කහගල්ල ප්‍රදේශයේ නිවසක් දී හිසට සිමෙන්ති ගඩොල් කැටයකින් පහර දී මනුස්ස ඝාතනයට වරදකරුවන් වූ විත්තිකරුවන් පස් දෙනකුට  කෑගල්ල මහධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය මරණ දඩුවම නියම කළාය.

මෙලෙස මරණ දඩුවම නියම වුයේ අංක 90 කහගල්ල දේවාලේගම ලිපිනයේ පදිංචිව සිටින කුරුවිට ආරච්චිලාගේ දොන් චමින්ද ක්‍රිශාන්ත පෙරේරා, දික්ඇල්ල කෑගල්ල ලිපිනයේ පදිංචිව සිටින විල්ගම යද්දෙස්සලාගේ වසන්ත කුමාර, ටිකිරා කොටුව උඩබෝගල උදුගොඩ ලිපිනයේ පදිංචිව සිටින අසංක ප්‍රදීප් කුමාර, කරදැටියන දේවාලේගම පදිංචිව සිටින කලන්සූරියලාගේ ගයාන් චින්තක කලන්සූරිය, කන්දේ ගෙදර දේවාලේගම ලිපිනයේ පදිංචිව සිටින ජයලත්ගේ සුරංග දර්ශන ජයලත් යන පස් දෙනාය.

නඩුව කැදවු අවස්ථාවේ දී විත්තිකරු පස් දෙනා පිළිවෙලින් අධිකරණයේ පෙනී සිටි අතර මහධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන් පස් දෙනා මනුස්ස ඝාතනය සම්බන්ධයෙන් වැරිදිකරුවන් කරන බවත් මරණ දඩුවම නියම කිරීමට ප්‍රථම යමක් ප්‍රකාශ කිරීමට ඇද්දැයි ද විමසුවාය.

එහිදී විත්තිකරුවන් පස් දෙනා වෙන වෙනම කියා සිට්යේ තමන් මෙම මරණ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය.

පසුව මහධිකරණ විනිසුරුවරිය කියා සිටියේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කල හැකි බවත් පැවසුවාය. පසුව විත්තිකරුවන් පස් දෙනාට මරණ දඩුවම නියම කළාය.

2014 ජූලි මස 03 වන දින හෝ ඊට ආසන්න දිනක දී දේවාලේගම පොලිස් වසමේ කහගල්ල ග්‍රාමයේ බිරිදගේ නිවස ආසන්නයේ තාවකාලිකව පදිංචිව සිටි කොටියාකුඹුර පොල්ගම්පොළ ග්‍රාමයේ පදිංචිව සිටි අලහකෝන් මුදියන්සේලාගේ නන්ද අලහකෝන් නැමැති 39 හැවිරිදි දෙදරු පියා රාත්‍රි ඝාතනයකට ලක්ව තිබුණි.