
(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු ආසියාවේ රටවලින් භූතානයට පසුව අඩුම අවම වැටුපක් ලබන්නේ ශ්‍රී ලාංකිකයන් බව විෂුවල් කැපිටලිස්ට් වෙබ් අඩවිය පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමක් පෙන්වා දෙයි.
එම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලාංකිකයෙකුගේ අවම වැටුප ඇමෙරිකානු ඩොලර් 200 ක් වන අතර භූතාන වැසියෙකුගේ අවම වැටුප ඇමෙරිකානු ඩොලර් 180 කි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2024 වැටුප් දත්ත වාර්තා පදනම් කරගනිමින් විෂුවල් කැපිටලිස්ට් වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.
දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් වන ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානයක සිටින අතර එම ශ්‍රේණිගත කිරීමට අනුව ඉන්දියාවේ මාසික අවම වැටුප මිලදී ගැනීමේ හැකියාව අනුව ඇමෙරිකානු ඩොලර් 233ක් ලෙසද, බංග්ලාදේශයේ ඇමෙරිකානු ඩොලර් 379ක් ලෙසද, පාකිස්තානයේ ඇමෙරිකානු ඩොලර් 570ක් ලෙසද දැක්වේ.
එසේම ඇෆ්ගනිස්තානයේ අවම වැටුප ඇමෙරිකානු ඩොලර් 393ක් ලෙසද, නේපාලයේ ඩොලර් 490ක් ලෙසද, මාලදිවයිනේ ඩොලර් 587 ක් ලෙසද සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම සංසන්දනය සඳහා යොදාගෙන ඇත්තේ 2024 වසරේ දත්ත වන අතර, එහි දැක්වෙන ඩොලර් අගයන් රටවල් අතර ජීවන වියදමේ වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මිලදී ගැනීමේ හැකියාව අනුව සකස් කළ අගයන් වේ. එබැවින් එම අගය ශ්‍රී ලංකාවේ වත්මන් අවම වැටුපට සෘජුව සමාන කළ නොහැක.
මේ අතර ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප 2026 ජනවාරි පළමුවැනිදා සිට රුපියල් 30,000 දක්වා වැඩිකර තිබේ.ජාත්‍යන්තර සංසන්දනයේදී ආසියාවේ ඉහළම ස්ථානය දකුණු කොරියාවට හිමිව ඇති අතර එරට මාසික අවම වැටුප මිලදී ගැනීමේ හැකියාව අනුව ඩොලර් 2,362ක් ලෙස දැක්වේ.
ලෝකයේ රටවල් අතරින් ඉහළම අවම වැටුපක් ගෙවනු ලබන්නේ ස්විට්සර්ලන්තය වන අතර එය ඩොලර් 3,804කි. එහි දෙවන සහ තෙවන ස්ථාන ජර්මනියට සහ එක්සත් රාජධානියට හිමිව ඇත.
රටවල් 130 ආශ්රයෙන් විෂුවල් කැපිටලිස්ට් වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර එහි 120 වැනි ස්ථානය ශ්‍රී ලංකාවටත්, 122 වැනි ස්ථානය භූතානයටත් හිමිව තිබේ. මාලදිවයින: 67 වැනි ස්ථානය, පාකිස්තානයට 68 වැනි ස්ථානය, නේපාලයට 78 වැනි ස්ථානය, ඇෆ්ගනිස්තානයට 88 වැනි ස්ථානය, බංග්ලාදේශයට 89 වැනි ස්ථානය සහ ඉන්දියාවට 111 වැනි ස්ථානය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd