(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

අනුරාධපුර ථූපාරාම දාගැබේ නිදන් කොට තිබියදී  සොරා ගන්නා ලද බව කියන කිලෝ 22 බර බුදු පිළිමයක් රුපියල් ලක්ෂ හැටකට අලෙවි කිරීම්ට සූදානම් වූ පුද්ගලයන් තිදෙනකු කහටගස්දිගිලිය  දිවුල්වැව කෝමාරිකාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි .

සංවිධානාත්මක කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස නිදහන්වලින් ලබාගත් බව කියන බුද්ධ ප්‍රතිමා  අලෙවිකරන බවට  ශ්‍රී ලංකා පොලීසියට අනියුක්ත කන්තලේ පොලීසියේ විශේෂ කාර්යාංශ ඒකකය  වෙත තොරතුරක්  අනුව ගැනුම්කරුවන් ලෙස වෙස්වලාගත් පොලිසිය  දින ගණනාවක් තිස්සේ මෙම බුදු පිළිමය පිළිබඳව මිලගණන් කතා කරගෙන එය මිලදී ගැනීම් සඳහා දින වෙන් කර මෙම වැටලීම් සිදු  කළ බව පොලිසිය පවසයි.

කන්තලේ පොලිස්  විශේෂ කාර්යාංශ ඒකකයේ නිලධාරියකුට ලද මෙම  තොරතුරු සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ නිලධාරීන් දැනුවත් කොට මෝටර් රථ දෙකකින් ඉතා සූක්ෂම ලෙස මෙම සිද්ධිය සිදුවන දිවුල්වැව, මහපොතාන ,කෝමාරිකාවල ප්‍රදේශයට  පිටත්ව ගොස් මෙම වැටලීම සිදු කර ඇත.

වෙස්වලාගත් පොලිස් කණ්ඩායම් දෙකක් දෙවිදිහකට  මෙම බුදු පිළිමය රැගෙන එන බව කියන කෝමාරිකාවල ප්‍රදේශි නිවස ආසන්නයට ගොස් පැය 7ක පමණ කාලයක් එම නිවස ආසන්නයේ  නිලධාරීන් රැඳී සිටීමට සිදු වූයේ බුදු පිළිමය අලෙවිකරන ජාවාරම්කරුවන්ගේ සියලු සැක දුරු වෙන තුරුය.