(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජීව උණ්ඩ 1000 කට ආසන්න ප්‍රමාණයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි හිටපු හමුදා සෙබලෙකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.

එම සෙබලා සමඟ ටී - 56 උණ්ඩ 205 ක් , මිලිමීටර් නවය ජීව උණ්ඩ 640 ක් , ටී-56 පුහුණු උණ්ඩ 40 ක් ,ටී - 56 මැගසින් දෙකක් , මිලිමීටර් නවය මැගසින් එකක් සහ වායු රයිෆලයක් පොලිසිය බාරයට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

නවගමුව පොලිසියේ නිලධාරීන් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී  සෙබලා පදවාගෙන පැමිණි යතුරු පැදිය නවතා සිදුකළ පරීක්ෂාවකින් පසු මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සෙබලා පදවාගෙන පැමිණි යතුරු පැදියේ අසුන යට වෙන් වෙන් වශයෙන් බෑග් වල අසුරා එම බෑග් සියල්ලම පොහොර උරයක බහා තිබූ බව පොලිසිය කියයි.

සැකකාර සෙබලා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පදිංචිව සිටි අතුරුගිරිය ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී වායු රයිෆලය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පැවැසීය.