(නිමල කොඩිතුවක්කු)

රටේ ජනමාධ්‍ය  හා පුද්ගලික නිදහස මේ වන විට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇතැයි 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුව රටේ ආර්ථිකය, මහජන සුබ සාධනය, ප්‍රජාතන්ත්‍රවාදය ආදී සියළු අංශවලින් අසමත් පරාජිත පාලනයක් බවට පත්වී හමාර බවත් පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.

තම දේශපාලන ප්‍රතිවාදීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ආණ්ඩුව දියත් කරමින් ඇති මර්දනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා 43 සේනාංකය කැඳවූ  මාධ්‍ය හමුවක දී අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

“රටේ පාලනය භාරගෙන අවුරුදු තුනක් ගත වෙන්ටත් මත්තෙන් ලංකාවේ බිහි වුනු කිසිම ආණ්ඩුවක් මෙවන් තත්ත්වයකට පත්වෙලා නැහැ.  ආණ්ඩුව කරවන දේශපාලනඥයන්ගේ ගෞරවය අද නැත්තට නැතිවෙලා තිබෙනවා. මිනිස්සු ගරු කරන්නේ නෑ. මිනිස්සු හිනා වෙනවා. හූ කියනවා. රටේ රාජ්‍ය නායකයාගේ කතාවකට මිනිස්සු දක්වන්නේ ඉතාම නරක ප්‍රතිචාර. ජනාධිපතිගේ ඉඳලා ආණ්ඩුවේ කිසිවකුටත් කිසිම ගරුත්වයකින් සලකන් නෑ. මේ අසමත්කමයි, ගෞරවය අහිමිවී යාමයි නිසා අද මේ පාලක කණ්ඩායම වියරුවෙන් හැසිරෙනවා

මහජනයාගේ සිත් සතන් තුළ දැන් ආණ්ඩුව කෙරෙහි කිසිදු පැහැදීමක් නැහැ. මේ නිසා තමන්ගේ විවේචකයන්ට හා දේශපාලන විරුද්ධවාදීන් එල්ල කරගෙන ඉතාමත්ම නිහීන නින්දිත, පිළිකුල් සහගත, ප්‍රහාර මාලාවක් පසුගිය කාලය පුරා එල්ල වුණා.