<img src=" <meta http-equiv=" pragma'="" content="no-cache">

(යොහාන් භාසුර)

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පැවසීය.

එම තීරණ විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටට සහ ජනතාවට හිමිවනු ඇති බව කී ජනාධිපතිවරයා කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන ලැබෙන නිසා රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් විසඳන බවත් අපනයන ක්ෂේත්‍රයේ ඉලක්ක යථාර්ථයක් කරගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිවරයා කීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (26) පැවැති ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල’ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල වාසිදායක ප්‍රතිලාභ අද රටට හිමිව තිබෙනවා. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර ඇත. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී වියහැකි ගුණාත්මක නිෂ්පාදන බිහිකිරීමට කර්මාන්තකරුවන් ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතිනවා.

හරිත කෘෂි නිෂ්පාදන සහ පිරිසැකසුම්කරණය ක්ෂේත්‍ර සඳහා ආයෝජනයට සුවිශේෂී අවස්ථා ඇති කර නිෂ්පාදන සඳහා නව අපනයන වෙළෙඳපොළ අවස්ථා පවතිනවා. ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළට අපනයනය කළහොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කර ගත හැකියි”

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මේ සම්මාන උළෙලට සහභාගි විය.