(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැතිවරණ නීති සමාලෝචනය සඳහා මහජන අදහස් ගැනීමට මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,  එහි සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය  චන්දන  අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලි‍මේන්තුවේදී පසුගියදා  පළමුවරට රැස්විය.

මැතිවරණ ක්‍රමයට අදාළ වන නීති, එනම් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවකදී    කරන ලද සංශෝධන සමාලෝචනය කිරීම මෙම කමිටුවට පැවරී ඇති වගකීම වේ.

ඊට අමතරව  එම පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීමද කාරක සභාවට  පැවරී  ඇත

ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක්  කිරීම සඳහා කාරක සභාව  අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමටද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් හෝ ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම  කිරීමටද  එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව හෝ  ගැනීමටද  කාරක සභාවට බලය හිමිවේ.

තවද, කාරක සභාවේ කටයුතුවලට සහාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය  ගැනීමටද අවස්ථාව හිමිව ඇත

ඒ අනුව  කාරක සභාවේ කටයුතු සඳහා මහජන අදහස්  ගැනිමට සහ මෙම සමාලෝචන ක්‍රියාවලිය පිළිබඳ පුළුල්ව මහජනතාව දැනුවත් කිරීමටද සාමාජික මන්ත්‍රීවරැන්ගේ ඒකඟතාවය හිමි විය.

මෙම කාරක සභාවට  නියෝජ්‍ය අමාත්‍ය (නීතිඥ) සුනිල් වටගල,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, (නීතිඥ) තුෂාරි ජයසිංහ, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහුද  සහභාගී වූහ.