(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධා පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් කැඳවා  කරුණු විමසීමට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාලව  කරුණු සොයන පාර්ලිමේන්තු  විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවඑහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට  පසුගිය  17 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙහිදී  විශේෂ කාරක සභාවේ   සභාපතිවරයා පැවසුවේ, පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට බලාත්මකව පවතින 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන  නැගී ඇති නීතිමය බාධාව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බවයි.

අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව වැදගත් ආයතනවලින් බහුතරයක් පාලනය වන්නේ පළාත් සභා ඔස්සේ බව විපක්ෂ මන්ත්‍රීවරු  පෙන්වා දුන්හ. ඒ අනුව දැනට වසර 9ක් පළාත් සභා නොපැවැත්වීම හරහා ගැටලු රැසක් පැන නැගී ඇති බව ඔවුහු පැවසුහ. ඒ අනුව මෙම පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය වන සමානුපාතික ක්‍රමය ඔස්සේ පවත්වා, පසුව මෙම ඡන්ද විමසීමේ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම මන්ත්‍රීවරු  යෝජනා කළහ.

කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම හා තරුණ නියෝජනය මෙම පළාත් සභා ඡන්ද විමසීමේදී ලබාදීම ආදී ඡන්ද ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් වඩාත් පුළුල් හා ගැඹුරු සංවාදයක් ඇති වීමේ වැදගත්කම සභාපතිවරයා  අවධාරණය කර සිටියේය.

ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමේ වැදගත්කම සිහිපත් කළ සභාපතිවරයා, ඒ සඳහා මීළඟ රැස්වීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට යෝජනා කළේය.

මෙම විශේෂ කාරක සභාව පළමු රැස්වීමේ දින සිට මාස 3ක් තුළ වාර්තාව ඉදිරිපත් කළ යුතු බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම රැස්වීමට  නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් යන මහත්වරුන් සහ සාමාජික  මන්ත්‍රීවරයන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, යන මහත්වරුද  සහභාගී වූහ.