(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට හිංසන අඩන්තේට්ටම් සහ වෙනස් කොට සැලකීම්  සිදුවී ඇති හෙයින් අැයට සාධාරණය ඉටු කරන ලෙස නිර්දේශ කෙරැණු  හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ වාර්තාව බාරදී  හරියටම මාස හතරක කාලයක් ගතවී  අැතත්   ඇයට  තවමත් කිසිදු   සාධාරණයක්  ඉටුවී නැතැයි වාර්තාවේ.

අලහප්පෙරුම  මහත්මිය විසින් මෙම වාර්තාව කතානායකවරයාට  බාර දෙනු ලැබුවේ   පසුගිය වසරේ නොවැම්බර් මස 24  වැනිදාය.

වාර්තාව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට  පසුගිය පෙබරවාරි මස 29 වැනිදා  ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව  ඉදිරියේද   සභාගත  කෙරිණ.

තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට විවිධ අඩන්තේට්ටම් වෙනස් කොට සැලකීම් මෙන්ම වාචික හිංසනද  සිදුව ඇති බව  එම කමිටු වාර්තාවෙන්  පැහැදිලි ලෙසම  කරුණු අනාවරණය කර ඇත. ඒ අනුව ඇයට ඇයගේ රාජකාරී භූමිකාවට අදාළ අංශයේ රැකියා කිරීමට අවස්ථාව සලසාදී     වසර ගණනාවක් තිස්සේ ලබාදී නැති වැටුප් වර්ධක ලබාදීම ඇතුළු   විවිධ සහන  සලසන ලෙස වාර්තාව පැහැදිලිවම  නිර්දේශ කර ඇතත්  ඒ කිසිදු නිර්දේශයක් මෙතෙක් ක්‍රියාත්මක කර  නැතැයි දැනගන්නට ඇත.

එසේම නිලධාරිනියට යම් යම් හිංසන කළැයි  කියන නිලධාරීන්ට එරෙහිවද  පාලනාධිකාරිය තවමත් කිසිදු  ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ නිලධාරින් පිරිසක් පැවසුවේ ස්වාධීන පරීක්ෂණ කමිටුවක වාර්තාවෙන් කෙරුණු එම නිර්දේශ වහාම ක්‍රියාත්මක නොකළහොත් එය නරක පූර්වාදර්ශයක් වනු ඇති බවයි.

නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්නැයිද ඔවුහු ඉල්ලා සිටිති

එසේම එම නිලධාරිනියගේ පැමිණිල්ලක් අනුව පත් කෙරුණු  විමර්ශන  කමිටු  වාර්තාවේ  පිටපතක් අදාල   වින්දිත නිලධාරිනිය තමාට දෙන ලෙස පාර්ලිමේන්තු පරිපාලනයෙන් කාලයකට පෙර ඉල්ලීම් කර ඇතත් ඇයට එම වාර්තාව පවා  මේ දක්වාම ලබාදී නැතැයි  වාර්තාවේ.

නිලධාරිනියගේ පැමිණිල්ල විභාග කිරීමට පත්කෙරුණු අලහප්පෙරුම  කමිටුව වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින්  රුපියල් ලක්ෂ ගණනක් වැය කෙරිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ  එම වාර්තාව කුණු කූඩෙට නොදමා අසාධාරණයට ලක්වූ  නිලධාරිනියට  සාධාරණය ඉටු කළ යුතු බවයි.