(අජන්ත රත්නායක)

රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති  අවස්ථාවක මැතිවරණයකට වියදම් කිරීමට සුදුසු නැහැ. ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ වැඩ කිරීම මිස මැතිවරණ නොවේ යැයි පොදුජන පෙරමුණු මන්ත්‍රී අසංක නවරත්න මහතා අද කුරුණෑගල දී පැවසීය.

මේ වෙලාව මැතිවරණයකට යා යුතු වෙලාවක් නෙවෙයි. අපි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවත්වලා බහුතර බලයක් සහිත ජනාධිපතිවරයෙක් සහ බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයත් වසරකින් කල් දාලා තියෙනවා. ඒ නිසා මේ කාල සීමාව තුළ කළ යුතු වැඩ කඩිනමින් කිරීම තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ.

මැතිවරණවලට බය නැතුව ඒවා ජයග්‍රහණය කරන පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. නමුත් මේ මොහොතේ ඒ ගැන කල්පනා කරන්නේ නැතිව අපි ලබාගෙන තියෙන ජයග්‍රහණයත් එක්ක වැඩ කරන එකට තමයි මුල්තැන දිය යුත්තේ. මිනිස්සු මේ වෙලාවේ ලොකු පීඩාවක ඉන්නේ. අපිට ඡන්දේ දුන්න උදවිය පවා කඩාවැටීම්වලට ලක්වෙලා ඉන්න අවස්ථාවක්. ඒවා යථා තත්ත්වයට පත්වෙනකන් මැතිවරණ ගැන නොහිතා ඉතුරුවෙලා තියෙන කාල සීමාව තුළ වැඩ කරමු කියලයි මම ආණ්ඩුවට යෝජනා කරන්නේ.