( තිළිණි ද සිල්වා )

චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කීරීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මෙරට චීන තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි .

චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළව පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක ජීවානුහරණය කිරීමේදී අහිතකර ක්ෂුදු ජීවි විශේෂ අධික උෂ්ණත්වය යටතේ සම්පූර්ණයෙන් විනාශවන බවය.

කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමේදී කාබනික පොහොර සාම්පලවල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව දින තුනක් තුළ සිදුකළ පරීක්ෂණ හා විශ්ලේෂණ තුළින් හඳුනාගෙන ඇති බව පළවූ ප්‍රවෘත්ති වාර්තාවල දැක්වුණු නිවේදනයේ දැක්වේ.