( තිළිණි ද සිල්වා )

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට දින තුනකට පෙර කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත මෙම තත්ත්වය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කර ඇතැයිද එම අමාත්‍යාංශය සදහන් කරයි.

පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් රජයේ පවතින උනන්දුව පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී පලස්තීන තානාපති වෙත දැනුම්දුන් බවද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ලෙසත්, සිදුවෙමින් පවතින ප්‍රවණතා හේතුවෙන් පුළුල් කලාපය අස්ථාවරවීමේ තර්ජනයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද විදේශ අමාත්‍යාංශය කීය.