(යොහාන් භාසුර)

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26 ක් එකතුව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය අද (16) මාධ්‍යම රාත්‍රී සිට ආරම්භ කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

ඒ අනුව දෙදින වැඩවර්ජනය අනිද්දා (18) මාධ්‍යම රාත්‍රියට අවසන් කිරීමට නියමිත බවත් දුම්රිය බලධාරීන් කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක් මේ දක්වා දී නොමැති බවත් ජයසේකර මහතා සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව වර්තමානයේ මුහුණදී ඇති බරපතළ පරිපාලන සහ මෙහෙයුම් ගැටලු සම්බන්ධයෙන් වගකිව යුතු වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉවත් කිරීම මෙම වර්ජනයේ ප්‍රධාන ඉල්ලීම බවත් මෙම වර්ජනයේ ඉල්ලීමක් වන දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා වන තමන්ට එරෙහිව නිකුත්කර තිබූ ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අත්හිටුවීම වර්ජනය නතර කිරීමට කරුණක් නොවන බව කී ඔහු මෙය රටේ අනාගතය වෙනුවෙන් කරන වර්ජනයක් බවත් ඒ මහතා කීය.

අදාළ ලිපිය අත්හිටුවීමට ගෙන ඇති තීරණය හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට හෝ නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව කී ජයසේකර මහතා ප්‍රධාන ඉල්ලීම ඉටුවන තෙක් ඒකාබද්ධ වෘත්තීය සමිති ප්‍රකාශයට පත්කළ වැඩවර්ජනය සැළසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

වැඩවර්ජනයට මුලදී එක්නොවූ වෘත්තීය සමිති රැසක් මේ වන විට වර්ජනයට සහය පළකරන්නේ යැයි දැනුම් දුන් අතර ඒ අනුව දුම්රිය රියදුරු සහයකයන්, ෂන්ටින් රියදුරන් සහ අංගනවල සේවකයන් ද වර්ජනයට එකතුව සිටින බව ද කසුන් චාමර ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.