
(විමුක්ති එස් රුද්‍රිගු)
වර්තමානයේ පොත් සඳහා පනවා ඇති එකතු අගය මත බද්දේ (වැට්) වෙනසක් සිදු කිරීමට එළැඹෙන අයවැයෙන් හැකිවෙතැයි විශ්වාස කරන බවත් ඒ සඳහා හැකි උපරිම උත්සාහය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කරන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය.කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එළඹෙන 4 වැනිදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැවැත්වේ.
පොත් කියවන, පොත් එක්ක ගැවසෙන සහ පොත්වල වටිනාකම හොඳින් දන්නා ආණ්ඩුවක් හැටියට අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට් බද්දේ වෙනසක් ඇති කිරීමට ගන්නා උත්සාහය ජනතාවට කෙතරම් වටිනවාදැයි රජය හොඳින් දන්නා බවද ඇය ප්‍රකාශ කළාය.
ඒ හේතුවෙන් වැට් බද්දේ වෙනසක් ඇති කිරීමට හැකිවේවා යැයි රජය ප්‍රාර්ථනා කරන බවද ඇය සඳහන් කළාය. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යනු අවුරුද්දට එක් වරක් පැවැත්වෙන තවත් එක් පොත් ප්‍රදර්ශනයක් නොවන බවද ඇය කීවාය. රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම දිනය එළැඹෙන තුරු බලා සිටින බවද අගමැතිවරිය ප්‍රකාශ කළාය.
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනතාවගේ සංස්කෘති ජීවිතයේ කොටසක් බවට පත්වී තිබෙන බවද ඇය සඳහන් කළාය. ආරම්භයේදී කුටි 35 කින් ආරම්භ වූ පොත් ප්‍රදර්ශනය දකුණු ආසියාවේ ලොකුම පොත් ප්‍රදර්ශනය බවට පත්වී තිබෙන බව ඇය පැවැසුවාය. පොත් ප්‍රදර්ශනයට පැමිණ තිබෙන ජාත්‍යන්තර ප්‍රජාව දෙස බලන විට පොත් ප්‍රදර්ශනයේ වටිනාකම ජාත්‍යන්තරයට ගොස් තිබෙන බව පැහැදිලි වන්නේ යැයි අගමැතිවරිය ප්‍රකාශ කළාය.
චීන තානාපති වෙයි හුවාෂියෑන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් සුබසිංහ, නේපාල තානාපති කාර්යාලයේ සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූවේය.





(ඡායාරූප - සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd