(රෝෂන් තුෂාර)

රජයේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට අවස්ථාව සලසා දෙමින් රුපියල් ලක්ෂ 81ක මුදලක් බැංකු ගිණුමකට බැර කරවා ගත්තේ යැයි සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් පැවැසීය.

රුපියල් ලක්ෂ 81 මුදලක් බැංකු ගිණුම් වෙත බැර කරවා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාගේ හිටපු ලේකම් ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම කරුණු ඉදිරිපත් කළේය.

සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් තොරව තෝරාගත් සමාගම් තුනක් සදහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී එම සමාගම් වෙත පොස්පේට් ආනයනට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය දීම ,ආධාර අනුබල ලබා දී ලක්ෂ 81 මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගෙන සැකකරුගේ බැංකු ගිණුමේ තැන්පත් කරවාගෙන දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවය.