(අමදෝරැ අමරජීව)

වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිමිවරුන් සිව්නම ඇතුළු දසදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඇප අයදුම්පත්‍ර සලකා බැලූ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා මහතා එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම 11 වැනි දින දක්වා කල් තැබීය.

ඇප අයදුම්පත්‍ර ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥවරුන් වන නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව, මහේෂ් කොටුවැල්ල, තිස්ස යාපා, සංජීව වීරවික්‍රම, මදුමාලි ද අල්විස්, මනොජ් අරවින්ද සෙබස්තියන් යන මහත්ම මහත්මීන් 1988 අංක 64 දරණ සංශෝධිත පනත හා 2011 අංක 49 දරණ සංශෝධිත පනත යන පනත් වලින් සංශෝධිත 1981 අංක 57 දරණ වෙරල සංරක්ෂණ පනතේ 14 (1) ප්‍රකාරව වලංගු බලපත්‍රයක් නොමැතිව අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් එම පනත යටතේ ගැනෙන 28 (1) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවට තම සේවා දායකයන්ට විරුද්ධව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බව කීහ.

මෙහිදී කරුණු දැක්වූ රජයේ අධිනීතීඥ දර්ශිකා තිරු කුමරනාදන් මහත්මිය මෙම ඇප අයදුම්පත්‍ර සම්බන්ධයෙන් අදාළ පාර්ශවල විරෝධතා සලකා බැලීමට දින දෙකක කාලයක් අවශ්‍ය වන බව පැවසීය.

අදාල කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවට අදාල චෝදනා ජනවාරි 26 ගොනුකර තිබියදි මෙම ඇප අයදුම් ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූයේ ඇයිදැයි ප්‍රශ්න කළේය.

ඇප ලබා ගැනීම සඳහා අභියාචනාධිකරණයට යෑම සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවට මහාධිකරණයෙන් ඇප ලබාදීමට බලයක් ඇති බව පවසමින් ඇප අයදුම්පත්‍ර සලකා බැලීම 11 වැනි  දින දක්වා කල්තැබීය.