(යොහාන් භාසුර)

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට වගා බිම්වලින් සියයට 20 ක් හානියට පත් වූ අතර එය හෙක්ටයාර ලක්ෂයකට වැඩි වගාබිම් ප්‍රමාණයක් බවත් හෙක්ටයාර 25000 කට වැඩි ප්‍රමාණයක් නැවත වගාකළ නොහැකි ලෙස විනාශ වූ බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (9) පැවසීය.

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජය ප්‍රදානය කළ සහල් මෙට්‍රික්ටොන් 500ක භාරගැනීමේ අවස්ථාවට සහබාගි වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති මර්ලාර් තාන් හටයික් මහත්මිය වෙළෙඳ අමාත්‍යවරයා වෙත කොළඹ වරාය පරිශ්‍රයේදී එම සහල් තොගය නිලවශයෙන් ප්‍රදානය කළාය.

ශ්‍රී ලංකාව තුන්වේල බත් කන ජනතාවක් ජීවත් වෙන රටක් වන අතර විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර බත් වීම නිසා සහල් නිෂ්පාදනය වගේම පරිභෝජනය අතිනි සමානකම් තියෙන බවත් දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් අපේ රටේ ජනතාවට සහන සැලසීමට මූල්‍යමය ආධාර ලබාදීමට අමතරව සහල් ප්‍රමාණයක් මියන්මාර රජයෙන් මෙරටට පරිත්‍යාග කළ බවත් ඒ මහතා කීය.  

2022 වසරේ පැවති ආර්ථික අර්බුදය අවස්ථාවේත් මියන්මාර රජය මෙවැනිම පරිත්‍යාග කළ බවත් පසුගිය වසරේ මියන්මාරයට බලපෑ භූ කම්පනය අවස්ථාවේත් ශ්‍රී ලංකා රජය එලෙසින්ම ඔවුන්ට ශක්තියක් වූ බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය.

ආගමික වශයෙන් ද දිගු කාලීන ශක්තිමත් සබඳතාවක් දෙරට අතර පවතින අතර එම මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු කරමින් කළ මේ පරිත්‍යාගය දෙරටේ  රාජ්‍යතාන්ත්‍රික සබඳතා දිගුකාලීනව පවත්වාගෙන යාමට හේතුවක් වී තිබෙන බව කී වසන්ත සමරසිංහ මහතා පැවසුවේ මෙරටට ලැබුණු සියලු ආපදා සහන සෘජුවම ලබාදෙනු ලබන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා වන අතර මේ වන විටත් කඳවුරුගතව සිටින ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජය දුන් පරිත්‍යාග සේම අනෙකුත් සියලු  රාජ්‍යයන් දුන් ආධාර ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට ලබාදීමට  කටයුතු කරන බවත්ය.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (හදිසි මෙහෙයුම්)  නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික පුෂ්පකුමාර මහතා, සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිගධාරීහු ඇතුළු පිරිසක් සහභාගිවූහ.