(රෝෂන් තුෂාර)

මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, ආයුධ ළඟ තබාගැනීම් ඇතුළු අපරාධ රැසක සැකකරුව වසර තුනක් තිස්සේ ඩුබායි හි සැඟව සිට ඉන්දියාවේදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් ‘කෙසෙල්වත්තේ දිනූෂ’ ට රටින් පලායාම සඳහා විදෙස් ගමන් බලපත්‍ර ව්‍යාජව සාදා දුන් පුද්ගලයෙක් ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (05) නියෝග කළේය.

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉෂාර පහළ ගලගේ නැමති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ය.

පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ කෙසෙල්වත්තේ දිනූෂ නමැති සැකකරු මේ වන විට කොම්පඤ්ඤවීදිය පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට යොමු කර ඇති බවය.

සැකකරුට එරෙහිව පවතින අපරාධ නඩු සම්බන්ධයෙන් ද අධිකරණයට ඉදිරිපත් කළේය.

දිනූෂ සැකකරු සන්තකයේ ඉෂාර පහළ ගලගේ නමින් පෙනී සිටි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් තිබී ඇති අතර එම විදේශ ගමන් බලපත්‍ර තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද පැවසිය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉෂාර පහළ ගලගේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය ලබන 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.