(*** ඩයනා උදයංගනී)

කොමිෂන් සභා හමුවට කැඳවා ජනතා විමුක්ති පෙරමුණ බිය කිරීමට හැකි යැයි ආණ්ඩුව සිතනවා නම්, එය වැරදි අදහසක් බව එම පක්‍ෂයේ නායක, අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පැවසීය.

තමන් කැඳවා ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවද වංචාවට, දූෂණයට එරෙහි අරගලයේ කොටසක් කරගන්නා බව කී අනුර කුමාර දිසානායක මහතා එම අරගලයෙන් කිසිවිටෙකත් පලායන්නේ නැතැයි ද සඳහන් කළේය.
ජ.වි.පෙ. නායකයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද කීවේය.

“දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්‍ෂා කර තොරතුරු ලබාගැනීමේ ජනාධිපති කොමිෂන් සභාවට අද (23) දිනයේදී මා කැඳවා තිබෙනවා. දූෂිත දේශපාලනඥයින්, චෞර ව්‍යාපාරිකයින් හා රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරී අතළොස්සක් රටේ ධනය විශාල වශයෙන් සොරකම් කර තිබෙනවා. රටේ ණය බර ට්‍රිලියන 11ක් වෙද්දී ඉන් ගොඩනැගී ඇති වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 1.8ක් පමණක් යැයි හිටපු විගණකාධිපතිවරයකු ප්‍රකාශ කළා. රට ණය වී ලබාගත් මිලියන 9.2ක මුදලක් දූෂිතයින් අතට ගොස් තිබෙනවා.

අපි වංචාවට, සොරකමට එරෙහි අනවරත අරගලයක යෙදෙන්නේ මේ ධනය නිවසට ගෙනයාමට නොව, සොරකම නතර කර සොරාගත් ධනය රටට අත් කරගැනීමයි. අපි සොරකම්වලට එරෙහිව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බරපතළ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (එෆ්.සී.අයි.ඩී.) වැනි ආයතනවලට පැමිණිලි කළා. අපේ අරගලය පාර්ලිමේන්තුවට සීමා වුණේ නැහැ. අප දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවත් වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහි අරගලයේ කොටසක් කරගන්න කැමතියි.

2015 මැතිවරණ වේදිකාවේ කතාබහට ලක්වූ ප්‍රධානම කරුණ එය වුවත් එම ආණ්ඩුව ජනවරමට පිටු පා දූෂණයේ හා නාස්තියේ පාරටම පැමිණි බවට නිදසුන් තිබෙනවා. එම ආණ්ඩුවේ බොහෝ දෙනා වංචාවේ යෙදෙන්නත් වංචනිකයින් රකින්නත් කටයුතු කළා. නමුත් අප සැමවිටම ඊට එරෙහිව සටන් කළා. ඒ අරගලයෙන් පලායාමට අපි සූදානම් නැහැ. එම වගකීම අපේ දෙවුර මත පැටවී තිබෙනවා. පෙර ආණ්ඩුව දූෂිතයින්ට හා වංචනිකයින්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැති බව සෑම පුරවැසියෙක්ම පිළිගන්නවා. අද අපේ රටට මහජන විනිශ්චය කොමිෂන් සභාවක් අවශ්‍යයි. පළාත් පාලන ආයතනයේ සිට ඉහළට සිදුවී ඇති වංචා හා දූෂණ පිළිබඳ තොරතුරු අදාළ නිලධාරින් හා පොදු ජනතාව එම සභාවට ඉදිරිපත් කරාවි. දූෂිතයින් නිදැල්ලේ සිටින්නේ කෙසේද යන්නත් සොයාබැලිය යුතුයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වග උත්තරකරුවන් ලෙස කැඳවා තිබෙනවා. ඇවන්ට්ගාඩ් පිළිබඳ මහාධිකරණ නඩුවේ පැමිණිලි පාර්ශ්වය ලෙස පෙනී සිටි නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් ජනාධිපති කොමිසමේදී විත්තිකරුවන් වෙලා. ජනතාවට මෙහි තත්ත්වය දැනගැනීමට එයම ප්‍රමාණවත්. කොමිෂන්වලට කැඳවලා ජ.වි.පෙ. බය කරන්න පුළුවන් යැයි ආණ්ඩුව හිතනවානම් එය වැරදි අදහසක්.

මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ ඇවන්ට්ගාඩ් පිළිබඳවත් තිබෙනවා. ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට බලතල තිබුණත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා එය කළේ නැහැ. බැඳුම්කර පිළිබඳව ජනාධිපති කොමිසමේදී මන්ත්‍රීවරු 118ක් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව ප්‍රකාශ වුණත් ඔවුන්ගේ නම් හෙළි කළේ නැහැ. මේ කොමිෂන් සභාවලට මුදල් කොයිතරම් නාස්තිකරලාද යන්න වෙනම සෙවිය යුතුයි.”
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙහිදී මෙසේ පැවසීය.

“අපි අඳුරේ අතපත ගාන්නේ නැහැ. ඔප්පු කරන්න බැරි දේවල් ඉදිරිපත් කරන්නේ නැහැ. තමන්ගේ හිතවතාට දුන් ව්‍යාපාරය නැවත නාවික හමුදාව යටතට පත්වීම ගැන ජනාධිපතිවරයාට, ආණ්ඩුවට හිතේ අමාරුවක් ඇති. මේ වගේ කොමිසම්වලට කැඳවා ජවිපෙ හෝ අනුර දිසානායක සහෝදරයා බය කරන්න බැහැ. අපි දේශපාලනයට ඇවිත් තිබෙන්නේ සටන් කරන්නයි.
වෙනත් අයට නැතිවෙන්න ධනය, ජනාධිපතිකම්, අගමැතිකම්, විවිධ ව්‍යාපාර තිබුණත් අපිට නැතිවෙන්න දෙයක් නැහැ.

ජනතාවට යුක්තිය ඉටුකිරීම අපේ වගකීමක්. කවදාවත් අපිව දුර්මුඛ කරන්න බැහැ. අපි මේකට මුහුණ දෙන්නේ පක්ෂයක් ලෙසයි. තනි තනි කෙනා හුදකලා කර සෙල්ලං කරන්න හදන්න එපා යැයි අපි ආණ්ඩුවට කියනවා. කොමිසමේදී අපිට සාධාරණ කාලයක් අවශ්‍යයි. අපි කී දේ එහිදී තහවුරු කර පෙන්වනවා.”

ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

මෙහිදී කරුණා අම්මාන් කර ඇති ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් ටිල්වින් සිල්වා මහතා මෙසේ කීවේය.

“කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ.යට නායකත්වය දී පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ වූ කෙනෙක්. ඔවුන් කරුණා හොඳ පුරවැසියෙක් කීවත් දැන් ඔහු තමන් කළ ඝාතන වීරත්වයට නගනවා. රාජපක්ෂලා මැතිවරණ දිනීමට ඕනෑම දෙයක් කරනවා. කොටි ඝාතනය කරන්න දායක වුණා කියා සරත් වීරසේකර මහතා කොළඹින් ඡන්දය ඉල්ලද්දී හමුදාව ඝාතනය කළ බව කියමින් කරුණා නැගෙනහිරින් ඡන්දය ඉල්ලනවා. ජනතාව මෙය තේරුම් ගත යුතුයි.”