(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අධිවේගී මාර්ගයේ ධාවනය වන කඩවත නාවින්න සුඛෝපභෝගී බස් රථයක ගමන් ගත් තරුණියකට අතවර කළැයි කියන එහි රියදුරුගේ හා කොන්දොස්තරවරයාගේ සේවය මාසයකට තහනම් කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බස් රථයේ ගමන්වාර දින තුනකට අත්හිටුවීමට පියවර ගත්තේය.

මීට අමතරව මෙම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර වරයා හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම බස් රථයේ ගමන්වාර ඉකුත් 07 දා අවලංගු වී තිබියදී එදින පැවති මගී තදබදය අවම කිරීම සදහා කඩවත සිට මාකුඹුර දක්වා එක් ගමන් වාරයක් පමණක් මෙම බස් රථයට ලබා දී තිබේ. එසේ එක් ගමන් වාරයක් ලබා දී ඇත්තේ මාකුඹුරේ සිට යළි කඩවත දක්වා පැමිණිමේදී කිසිදු මගියෙකු නංවා නොගෙන පැමිණිමේ එකගතාවය මතය.

එහෙත් මෙම බස් රථයේ සේවකයන් දෙදෙනා මාකුඹුරේ සිට කඩවත දක්වා පැමිණීමේදී තරුණියක බස් රථයට නංවාගෙන පැමිණෙන අතර වාරයේදී එම තරුණියට මෙසේ අතවර කිරීමට උත්සාහ කර ඇති බවට පළාත් ප්‍රවාහන අධිකාරියට පැමිණිල්ලක් ලැබී තිබුණි.