(රෝෂන් තුෂාර)

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි හට යාපනයේ අලෙයියාලෙයි සිට  ඉන්දියාවට පලා යෑම සඳහා ආධාර අනුබල දුන් බෝට්ටු රියදුරා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.

ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ දින 30ක් රඳවා ප්‍රශ්න කළ සෙල්වෙනේසන් ජේසු දාසන් නොහොත් පලසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ බෝට්ටු රියදුරු ගනේමුල්ලේ සංජීව ඝාතන නඩුවේ හතළිස් හත්වන සැකකරු ලෙස නම් කරන බවය.

සැකකරු විසින් මනා දැනුමක් ඇතිව ඉසාරා සිව්වන් දී යන අයව රටින් පිට කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවත්, සෙව්වන්දි ව ඉන්දියාවට ගොඩ බැස්සූ පසුව ඔහු විසින් බෝට්ටුවේ සාක්ෂි වන ජී පී එස් යන්ත්‍රය විනාශ කර ඇති බවද පැවසීය.

සැකකරු විසින් මේ ආකාරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රටින් පිටවීමට ආධාර අනුබල දී ඇති බවත්, ඉන්දියාවට යෑම සඳහා ඔහු රුපියල් පනස් දහසක මුදලක් අයකර ඇති බවත් පැවසීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන දහ අට දින දක්වා ආරක්ෂිතව බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.