(ටී.කේ.ජී.කපිල )

ආනයනය කිරීම තහනම් කර ඇති එනසාල් තොගයක් , නීතිවිරෝධී ලෙස ඩුබායි සිට අලුයම මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

අවුරුදු 40 ත් 45 ත් අතර වයසේ පසුවන මොවුන් මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙකි .

ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ කිලෝ 01 බැගින් වූ , එනසාල් කිලෝ 105 ක් සගවා ගෙන තිබියදී , රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.

ඒවායේ වටිනාකම රුපියල් 105,000 ( දස ලක්ෂ පන් දහසක් ) ක් බව රේගුව ප්‍රකාශ කරයි .මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ වයි.ජී.මොරගොඩ මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම එනසාල් තොගය රාජසන්තක කිරීමට නියෝග කෙරිණි.

ව්‍යාපාරිකයන් තිදෙනාට තරයේ අවවාද කර නිදහස් කිරීමට ද පියවර ගෙන තිබුණි .