(අංජුල මහික වීරරත්න)

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධ කර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සමත්, එහෙත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට අවස්ථාව නොලබන සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජය විසින් පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීම පිණිස පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි. 

දැනට එම ණය යෝජනා ක්‍රමයේ ණය මුදල් ප්‍රදානය කරනු ලබන බැංකු වශයෙන් මහජන බැංකුව සහ ලංකා බැංකුව කටයුතු කරනු ලැබේ. 

එම ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර යටතේ සිසුන් 7,000 ක් සඳහා ණය පහසුකම් සලසා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව, මහජන බැංකුව සහ ලංකා බැංකුවට අමතරව එම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන් වෙත ණය මුදල් ප්‍රදානය කරනු ලබන බැංකුවක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද සම්බන්ධ කර ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.