(ඩයනා උදයංගනී)

ලබන වසරේ මුල් මාස අටක කාලයේදී මෙරටට පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව ලබන ජනවාරි 1 වැනිදා දින සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය වෙනුවෙන් එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඒ අනුව සල්පර් ප්‍රතිශතය 0.05 ක් වන ඩීසල් බැරල් 1,137,500ක් සහ උපරිම සල්පර් ප්‍රතිශතය 0.001 ක් වන ඩීසල් බැරල් 262,500ක් ආනයනය කිරීමටත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් 1,341,000 සහ ඔක්ටේන් 95 වර්ගයේපෙට්‍රල් බැරල් 459,000ක් ආනනය කිරීමට අදාළ සමාගම වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිත බව ඇමතිවරයා කීවේය.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ආදළ සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවලට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවූ බව රමේෂ් පතිරණ මහතා පැවසීය.

වර්තමානයේ දී ජනතාව අතර ඉන්ධන හිඟයක් පිළිබඳව බියක් ඇතිවෙමින් පවතින බව කී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එවැනි හිඟයක් වර්තමානයේ දී නොමැති අතර ඉදිරියේදීත් ඇති නොවන බව ඉතාම වගකීමෙන් රජය ලෙස වගකීමෙන් ප්‍රකාශ කරන බවද ප්‍රකාශ කළේය.