(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඉදිරි කාර්තුවේදී විදුලි බිල වැඩි කිරීමට කිසිදු ඉල්ලීමක් නොකරන බව බල ශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

එල්නිනෝ නිසා විදුලි ජනනයට විශාල බලපෑමක් සිදු නොවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අමාත්‍ය නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි.

අනුර කරුණාතිලක මහතා මෙසේද කීය.

මේ රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් දෙන්න පුළුවන්කම ලැබුණා. අනුප්‍රාප්තික සමාගම් ඒ වෙනුවෙන් කටයුතු කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

2026 දී එල්නිනෝ තත්වය නිසා කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. අපිට බලාපොරොත්තු වුණාට වඩා වර්ෂාව ලැබුණු නිසා විදුලි ජනනයේ වියදම යම් කිසි විදියකට පාලනය කරගන්න හැකිවුණා. ඉදිරි කාර්තුවේදී විදුලි බිල වැඩි කිරීමට කිසිදු ඉල්ලීමක් කරන්නේ නෑ. ලබන අවුරුද්දේ මුල් මාස තුන සඳහා විදුලි ජනනය සහ විදුලිය සැපයීම අඛණ්ඩව කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරනවා.

එල්නිනෝ තත්වය දැනට සක්‍රිය වෙලා තියෙනවා. පසුගිය ජුලි මාසයේ සිට ලංකාවට සියයට සීයක් සක්‍රිය වෙලා තියෙනවා. ලබන වසරේ පෙබරවාරි දක්වා සියයට සීයක සක්‍රිය තත්වය තියෙනවා. අප්‍රේල් වෙනකොට අඩු වෙයි කියලා තමයි පුරෝකතනය. ඔක්තෝබර් සහ නොවැම්බර් දෙසැම්බර් මාස වල සාමාන්‍ය තත්වයට වඩා අධික වර්ෂාපතනයක් ලැබෙන බව පුරෝකතනය කරනවා.

අගෝස්තු මාසයේ වියළි කාලගුණයක් පුරෝකතනය කරලා තිබුණා. නමුත් ඒ කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබුණා. මෙතන තියෙන්නෙ සාමාන්‍ය රටාවට වඩා වෙනස් රටාවක්. ජලාශවල ජලය සියයට පනස් අටයි දශම හතක් තියෙනවා. 2025ට වඩා හොඳ තත්වයක්. එල්නිනෝ නිසා විදුලි ජනනයට විශාල බලපෑමක් සිදුවන එකක් නැහැ. සෘණාත්මක බලපෑමකට වඩා ධනාත්මක බලපෑමක් වේවි කියලා විශ්වාස කරනවා. 2027 ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල යම් බලපෑමක් වේවි කියල බලාපොරොත්තු වෙනවා.